පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් වූ විෂ මත්ද්‍රව්‍ය තොගයක් සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ තිබී දිවයිනේ විවිධ අධිකරණ මඟින් විනාශ කිරීමට නියෝග කරන ලද මත්ද්‍රව්‍ය තොගයක් හෙට (2026.06.27) දින විනාශ කිරීමට නියමිතය.
මෙම මත්ද්‍රව්‍ය තොගය පුත්තලම, වනතවිල්ලුව, ලැක්ගටොල්ත ප්‍රදේශයේ පිහිටි දහන උඳුන වෙත රැගෙන ගොස් විනාශ කරනු ලබන අතර, එම අවස්ථාව හෙට උදෑසන 09:00ට ආරම්භ වීමට නියමිතය.
විනාශ කිරීමට නියමිත මත්ද්‍රව්‍ය තොගයට අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13ක් සහ ග්‍රෑම් 22ක්, කොකේන් කිලෝග්‍රෑම් 02ක් සහ ග්‍රෑම් 30ක්, කුෂ් (Kush) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 39ක් සහ ග්‍රෑම් 710ක්, හෙරොයින් ග්‍රෑම් 156ක්, ගංජා සහ හෂීෂ් කිලෝග්‍රෑම් 04ක් සහ ග්‍රෑම් 136ක්, මැන්ඩි (Mandy) කිලෝග්‍රෑම් 01ක් සහ ග්‍රෑම් 200ක් මෙන්ම මත්පෙති 26,262ක් ඇතුළත් වේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය හෙට අලුයම 06:00ට අදාළ අධිකරණ සංකීර්ණවලින් පුත්තලම දහන උඳුන වෙත ප්‍රවාහනය කිරීමට නියමිත අතර, මෙම සිදුවීම ආවරණය කිරීම සඳහා සියලුම මාධ්‍ය ආයතනවල නියෝජිතයින්ට ආරාධනා කර සිටින බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.
















