ඇමරිකානු-ඉරාන සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වීමත් සමඟ, මාස හතරකට ආසන්න කාලයක් වසා දමා තිබූ ලෝකයේ විශාලතම බොරතෙල් අපනයන මධ්‍යස්ථානය වන සෞදි අරාබියේ රස් තනූරා වරාය යළි විවෘත කර තිබේ. සෞදි අරාම්කෝ සමාගම විසින් අද දිනයේ සිට යළිත් බොරතෙල් පැටවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, නාවික දත්තවලට අනුව සුපිරි තෙල් ප්‍රවාහන නෞකා දෙකක් දැනටමත් තෙල් පටවමින් පවතින අතර තවත් නෞකාවක් සිය වාරය එනතුරු රැඳී සිටී.
වරාය වසා දමා තිබූ කාලසීමාව තුළ දිනකට බැරල් මිලියන 7කට අධිකව පැවති සෞදි බොරතෙල් අපනයනය, බැරල් මිලියන 4ක මට්ටම දක්වා විශාල ලෙස පහත වැටී තිබුණි. කෙසේ වෙතත්, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තවමත් සම්පූර්ණයෙන්ම තහවුරු වී නොමැති බව රොයිටර්ස් පුවත් සේවය පෙන්වා දෙයි. ඊයේ දිනයේදී පවා තායිවානයට අයත් එවර්ග්‍රීන් මැරීන් සමාගමට අයත් නෞකාවකට නොදන්නා වස්තුවකින් ප්‍රහාරයක් එල්ල වීමෙන් පෙන්නුම් කරන්නේ එම කලාපයේ පවතින අවදානම් සහගත තත්ත්වයයි.
එසේ වුවද, ගෝලීය බලශක්ති සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් තෙල් ප්‍රවාහන කටයුතු මේ වන විට යළි ආරම්භ කර ඇත. මෙම පියවර ගෝලීය බොරතෙල් වෙළඳපොළේ ස්ථාවරත්වයට මෙන්ම, ඉන්ධන මිල උච්ඡාවචනයන් පාලනය කිරීමටත් ඉවහල් වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
















