උපරිමාධිකරණවල විනිසුරු පත්වීම් ප්‍රමාද වීම සම්බන්ධයෙන් විපක්ෂය එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, සමස්ත අධිකරණ පද්ධතියේ පවතින ප්‍රායෝගික ගැටලු කළමනාකරණය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ විනිසුරුවන්ගේ හිඟය නිසා දැනටමත් මහේස්ත්‍රාත් සහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ කිහිපයක් වසා දැමීමට සිදුව ඇති බවත්, නීතිපතිවරයා ඉල්ලා ඇති ත්‍රිපුද්ගල මහාධිකරණ පත් කිරීම පවා අපහසු වී ඇති බවත්ය. පහළ අධිකරණ පද්ධතිය කඩා වැටීම වැළැක්වීම සඳහා මහේස්ත්‍රාත්වරුන් 50 දෙනෙකු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළේය. පහළ අධිකරණවල පවතින පුරප්පාඩු කළමනාකරණය කිරීමෙන් අනතුරුව, ඉතා කෙටි කලක් ඇතුළත උපරිමාධිකරණයේ පුරප්පාඩු ද පිරවීමට පියවර ගන්නා බව ඔහු සහතික කළේය.
ආණ්ඩුවට පක්ෂව නඩු තීන්දු ලබා ගැනීමට උත්සාහ කරන බවට විපක්ෂය කරන ප්‍රකාශ, විනිසුරුවරුන්ගේ කැපවීමට කරන බරපතළ අපහාසයක් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. මාධ්‍යයට රජය විවේචනය කිරීමට පූර්ණ අයිතිය ඇති බවත්, එහෙත් වෙනස් වන සමාජය තුළ මාධ්‍ය ද සිය ශිෂ්ටසම්පන්න රාමුව වටහාගෙන කටයුතු කළ යුතු බවත් ඔහු පැවසීය. මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කරමින් ප්රජාතන්ත්රවාදය සුරකිමින් රට ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් බවට පත් කිරීමේ ගමනට සහාය දෙන ලෙස ද ජනාධිපතිවරයා සිය කතාව අවසානයේ ඉල්ලා සිටියේය.
















