සිය සේවා කාලය අවසන් කර ධුරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. පාර්ලිමේන්තුවේදී පැවැති මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.
ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර පවත්නා දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සුහද පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ලබාදුන් සහයෝගය වෙනුවෙන් කථානායකවරයා තානාපතිනිය වෙත ස්තුතිය පළ කළේය. විශේෂයෙන්ම මෑතකදී මෙරටට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව ස්විට්සර්ලන්තය ලබාදුන් සහාය ඇතුළු අසීරු අවස්ථාවලදී ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය කථානායකවරයාගේ ඇගයීමට ලක්විය.
මෙම සාකච්ඡාවේදී දූෂණය පිටුදැකීම, විනිවිදභාවය සහ පාලන තන්ත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් හුවමාරු විය. ධුරයෙන් නික්ම යන තානාපතිනියගේ ඉදිරි අනාගත කටයුතු සාර්ථක කර ගැනීම සඳහා කථානායකවරයා මෙහිදී සිය ශුභාශිංසන පළ කළේය.
















