මෙරට වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ මේ වන විට ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් ඇති බවයි.
පෙර වසරවලට සාපේක්ෂව මෙම රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, රෝහල් කිහිපයක රෝගී ධාරිතාවද ඉක්මවා ගොස් ඇත. දැනට දිවයිනේ දිස්ත්‍රික්ක 14කට මෙම තත්ත්වය අහිතකර ලෙස බලපා තිබේ.
මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඩෙංගු අවදානම ඉහළ ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය කරමින් දින තුනක විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් දියත් කර ඇති අතර, අද (26) එම මෙහෙයුමේ අවසන් දිනය විය. මීට අමතරව, පවතින අවදානම් තත්ත්වය සලකා බලා පොසොන් දන්සල් සඳහා අනුමැතිය ලබාදීමේදී දැඩි කොන්දේසි පැනවීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
















