ශ්‍රී ලංකාව ණය මත යැපීම අඩු කර ගැනීම සඳහා දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම, අපනයන ඉහළ නැංවීම සහ ශුද්ධ විදේශ විනිමය උපයන්නන් ධෛර්යමත් කිරීම රජයේ ප්‍රධානතම ප්‍රමුඛතාවක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙරට ප්රමුඛ පෙළේ තේ සහ රබර් කර්මාන්ත නියෝජිතයන් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. සෙසු රටවල් භාවිතා කරන අපනයන කේන්ද්‍රීය ආර්ථික මාදිලි ශ්‍රී ලංකාව ද අනුගමනය කළ යුතු බව පෙන්වා දුන් ඒ මහතා, නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ වඩාත් විද්‍යාත්මක ප්රවේශයන් කරා යොමු වන ලෙස කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී 2026-2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම යටතේ නව අපනයන උපාය මාර්ගයක් පිළිබඳව සාකච්ඡා වූ අතර, රබර් අංශයේ අගය එකතු කළ නිෂ්පාදන (Value addition) පුළුල් කිරීම, අමුද්‍රව්‍ය හා ශ්‍රම හිඟයට විසඳුම් සෙවීම සහ නව ප්‍රදේශවල වගා කටයුතු දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු විය. ටයර් ආනයනය, වැට් (VAT) ප්රතිලාභ ප්‍රමාද වීම සහ අපනයනකරුවන්ට ඇති නීතිමය බාධා පිළිබඳව ද මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ.
මේ අතර මැදපෙරදිග කලාපයට තේ අපනයනය කිරීමේදී පවතින අධික පිරිවැය සහ ඉරානය සමඟ පවතින “තේ වෙනුවට තෙල්” (Oil for tea) ගිවිසුමේ මූල්‍ය ගැටලුවලට මැදිහත් වන ලෙස තේ ක්ෂේත්රයේ නියෝජිතයෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. තේ සුළු පරිමාණ වතු හිමියන්ගේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට සහය දෙන ලෙස ද ඔවුහු ඉල්ලා සිටි අතර, රජයේ අපනයන සහ ආර්ථික වර්ධන වැඩපිළිවෙළට පූර්ණ සහය දෙන බවට කර්මාන්ත නායකයෝ මෙහිදී සහතික වූහ.
















