කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව (CEDAW Committee) සඳහා සාමාජිකයන් තේරී පත් කර ගැනීමට නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති මැතිවරණයෙන් ලෝකයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබා ගනිමින් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ. ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ මහාචාර්ය රංගිතා ද සිල්වා මහත්මිය ප්‍රකාශිත වලංගු ඡන්ද 185න් ඡන්ද 144ක්ම ලබා ගනිමින් ලැයිස්තුවේ අංක එකට පැමිණ මෙම කමිටුවට නැවත වරක් තේරී පත් වූ එකම ශ්‍රී ලාංකිකයා බවට පත්වූවාය.
කාන්තා අයිතිවාසිකම් සුරැකීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන කැපවීම පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව තැබූ ඉහළ විශ්වාසය මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් මැනවින් පැහැදිලි වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙම මැතිවරණයේදී ලංකාවට පසුව වැඩිම ඡන්ද ලබා ගනිමින් ඊජිප්තුව (141), උගන්ඩාව (140), මොංගෝලියාව (136), කැනඩාව (135), එස්තෝනියාව (133), අසර්බයිජානය (133), කියුබාව (128), ස්පාඤ්ඤය (125), නයිජීරියාව (123), මෙක්සිකෝව (119) සහ ඇන්ටිගුවා සහ බාබුඩා (118) යන රටවල් ද CEDAW කමිටුවට තේරී පත්වී ඇත.
















