පෞද්ගලික අංශයේ රෝහල් රැසක විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කිරීමේ ගාස්තු මේ වන විට රුපියල් 6,000 සීමාව ද ඉක්මවා ගොස් ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. මේ හේතුවෙන් රජයේ රෝහල්වලින් බෙහෙත් ගැනීමට නොහැකිව පෞද්ගලික රෝහල් වෙත එන ග්‍රාමීය හා අර්ධ නාගරික සාමාන්‍ය ජනතාව දැඩි ලෙස අසරණ වී සිටිති.
වෘත්තිකයන් මත පනවා ඇති බදු, රෝහල් සේවාවලින් අය කරන අධික බදු මෙන්ම ඉහළ ගිය විදුලි, ඉන්ධන සහ පාරිභෝගික භාණ්ඩ මිල මේ සේවා ගාස්තු ඉහළ යාමට ප්‍රධාන හේතු වී ඇත. මීට අමතරව පෞද්ගලික අංශයේ ඇඳ ගාස්තු, ඖෂධ, ශල්‍යකර්ම සහ ශල්‍ය උපකරණ මිල ගණන් ද රක්ෂණ ක්‍රම නොමැති සාමාන්‍ය මහජනතාවට දරාගත නොහැකි මට්ටමට වැඩි වී තිබේ. පෞද්ගලික වෛද්‍ය සේවා මිල පාලනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් වුව ද, මේ වන විට එම පාලනය අමාත්‍යාංශයෙන් සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් ඇති බව ද වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් චෝදනා කරයි.
















