එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකා අනතුරට අදාළ නඩුව ලංකාවේ පැවරීමට හැකියාව තිබියදී එය සිංගප්පූරුවට අරන් ගොස් විනාශ කළ බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී, නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයට බලපෑම් කරමින් මෙම නඩුව අනාථ කළ පුද්ගලයන්ට දඬුවම් කරන්නේ දැයි ඔහු මෙහිදී ප්‍රශ්න කළේය.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගෙන් මෙම ප්‍රශ්නය විමසූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් දුන් තීන්දුවක් ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයකට යොමු කර මුළු ක්‍රියාවලියම අවුල් කළේ කවුදැයි මන්ත්‍රීවරයා විමසා සිටියේය. මෙයට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ සභාවේ රීති අනුව ප්‍රශ්නය යොමු කරන්නේ නම් පිළිතුරු දීමට සූදානම් නමුත්, මේ ආකාරයෙන් අසන ප්‍රශ්නයට පිළිතුරු දීමට තමන් සූදානම් නැති බවයි.
















