ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට තම රටේ ඉතිහාසයේ පළමු වතාවට සුදුසුකම් ලැබූ කේප් වර්ඩ් (Cape Verde) කණ්ඩායම, ප්‍රබල සවුදි අරාබිය සමඟ පැවති තරගය ගෝල රහිතව සම කරගනිමින් ලෝක කුසලානයේ අවසාන 32 දෙනාගේ වටයට (Round of 32) සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබේ. හූස්ටන්හිදී පැවැත්වුණු මෙම තරගය සම වීමත්, අනෙක් පසින් ස්පාඤ්ඤය විසින් උරුගුවේ පිල පරදා ගෝල 1-0ක ජයක් ලැබීමත් හේතුවෙන් ‘H’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට මෙම පුංචි දූපත් රාජ්‍යයට හැකියාව ලැබුණි.
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 67 වැනි ස්ථානයේ පසුවන, ලක්ෂ 5කට මඳක් වැඩි ජනගහනයක් සහිත කේප් වර්ඩ් කණ්ඩායම මෙවර තරගාවලියේ මූලික වටයේදී කිසිදු තරගයක් පරාජය නොවී අපරාජිතව සිටීම විශේෂත්වයකි. ඔවුන් ප්‍රබල ස්පාඤ්ඤය සමඟ 0-0ක් ලෙස සහ උරුගුවේ පිල සමඟ 2-2ක් ලෙස තරග සම කරගත්තේය. මේ අනුව, ලෝක කුසලාන සිහිනය සැබෑ කරගත් කේප් වර්ඩ් කණ්ඩායම ලබන ජූලි 3 වැනිදා මියාමිහිදී ලෝක ශූර ලියොනල් මෙසීගේ ආර්ජන්ටිනා කණ්ඩායමට එරෙහිව සිය ඓතිහාසික දෙවැනි වටයේ තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.
තොරතුරු උපුටා ගැනීම: Al Jazeera ඇසුරින්
















