සියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඔහුගේ සමීපතම මිත්‍රයෙකු වන බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අතර විශේෂ නිල සාකච්ඡාවක් ඊයේ (26) වයඹදිග රුසියාවේ පිහිටි පුටින්ගේ වල්ඩායි නිල නිවසේදී පවත්වා තිබේ. දෙරටේ ආර්ථික සහ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමුව ඇති බව ක්‍රෙම්ලිනය තහවුරු කරයි. කෙසේ වෙතත් මෙම හමුවෙන් පසු මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශ නිකුත් කිරීමක් හෝ ගිවිසුම් අත්සන් කිරීමක් සිදු නොවන බව රුසියානු රජය කලින්ම දන්වා තිබුණි.
බෙලරුස් රාජ්‍යය සහ යුක්රේනය අතර පසුගිය දිනවල දැඩි රාජ්‍ය තාන්ත්‍රික නොසන්සුන්තාවයක් පැවති පසුබිමක මෙම හමුව සිදුවීම විශේෂත්වයකි. රුසියානු ප්‍රහාරවලට උදව් වන සන්නිවේදන කුළුණු ඉවත් කිරීමට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් බෙලරුස් රාජ්‍යයට ලබා දුන් අනතුරු ඇඟවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වේ. 2022 වසරේදී රුසියාව යුක්රේනයට පහර දීම සඳහා බෙලරුස් දේශසීමාව භාවිතා කිරීමට ඉඩ දුන් අතර රුසියානු උපක්‍රමශීලී න්‍යෂ්ටික මිසයිල ද තම රට තුළ රඳවා තැබීමට ලුකෂෙන්කෝ මීට පෙර එකඟ වී තිබුණි.
















