පොසොන් පුන් පෝය නිමිත්තෙන් ගිනිගත්හේන බස්නැවතුම්පොළ කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කෙරුණු දැවැන්ත පොසොන් කලාපය ඊයේ (26) දින සිට ලබන 29 වන දින දක්වා පැවැත්වීමට අඹගමුව ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත.
මෙම පොසොන් කලාපය නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා සහ අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල නාකන්දල මහතා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. ගිනිගත්හේන අභිනවාරාම විහාරස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගිනිගත්හේන පොලිසිය සහ ගිනිගත්හේන එක්සත් වෙළඳ සංගමය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක සහයෝගයෙන් මෙම කලාපය සංවිධානය කර තිබේ.
මෙම පොසොන් කලාපයට සමගාමීව ‘සංවර්ණ හංස ජාතකය’ විදහා දැක්වෙන පොසොන් තොරණක්, පහන්කූඩු ප්‍රදර්ශනයක්, භක්ති ගීත ප්‍රසංගයක් සහ දිනපතා පැවැත්වෙන දන්සැල් මගින් නගරය වර්ණවත් කෙරේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ගිනිගත්හේන ශ්‍රී අභිනවාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත පියරතන හිමියන් සඳහන් කළේ, පොසොන් සතියට සමගාමීව සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්, සීල භාවනා වැඩසටහන් සහ ව්‍යංජන 32කින් සමන්විත සම්බුද්ධ පූජාවක් ද විහාරස්ථානය මගින් සිදු කිරීමට කටයුතු යොදා ඇති බවයි.
පොසොන් සිරි නැරඹීම සඳහා ගිනිගත්හේන නගරයට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් ලංගම සහ පෞද්ගලික බස් රථ සේවයක් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට ද සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.
















