විහාරස්ථාන ඇතුළු සියලු ආගමික ස්ථාන හුදෙක් ආගමික කටයුතු පමණක් සිදුකරන ස්ථානවලට පමණක් සීමා නොවී, සමාජයට නිවැරදි මඟ පෙන්වන, සාරධර්ම වර්ධනය කරන සහ ජාතික සමගිය ඇතිකරන කේන්ද්‍රස්ථාන බවට පත්කිරීමට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට රජය සූදානම් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ වාද්දුව, පොහොද්දරමුල්ල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික මහිගර්ජනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ සහ නව සංඝාවාසය විවෘත කිරීමේ මහෝත්සවයට ඊයේ (26) සහභාගී වෙමිනි.
කොත නිරාවරණයට පෙර වැඩමවා සිටි ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ ඇතුළු නායක හිමිපානන් වහන්සේලා බැහැ දුටු අග්‍රාමාත්‍යතුමිය, පාරිසරික පාරිශුද්ධත්වය සහ දරුවන්ගේ සදාචාරාත්මකභාවය වර්ධනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව උන්වහන්සේලා සමඟ අදහස් හුවමාරු කර ගත්තාය.
අනතුරුව උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය:
“ආගමික ස්ථාන දියුණු කරනවා කියන්නේ ගොඩනැගිලි හදන එක විතරක් නෙවෙයි. ඒක මිනිසුන්ගේ හදවත් එකට යා කරන, සාරධර්ම පණගන්වන පරිසරයක් නිර්මාණය කිරීමක්. රටක් දියුණු වෙන්නේ ආර්ථිකයෙන් විතරක් නෙවෙයි. මිනිසුන්ගේ සිතිවිලි යහපත් වෙලා, සදාචාරය ශක්තිමත් වුණු දවසටයි රටක සැබෑ පුනරුදයක් ඇතිවෙන්නේ.”
එමෙන්ම, මෙරට පැවති පැරණි බෞද්ධ දැනුම් පද්ධතිය හා බැඳුණු සංස්කෘතිය සම්බන්ධව සොයාබැලීම සඳහා අනුරාධපුර, තිස්සමහාරාමය සහ යාපහුව වැනි ප්‍රදේශවල කැනීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිලන්ති කොට්ටහච්චි, නන්දන පත්මකුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ දායක දායිකාවන් විශාල පිරිසක් සහභාගී වූහ.
















