ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමේ අරමුණින්, නවීන තාක්ෂණයෙන් සහ උසස් පහසුකම්වලින් සමන්විත සුවිශේෂී “ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයක්” (High-Performance Center) මෙරට තුළ කඩිනමින් ස්ථාපිත කිරීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතිය ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සංකල්පයකට සහ සැලසුමකට අනුව ක්‍රියාත්මක කෙරෙන අතර, එය ක්‍රීඩකයන්ගේ කායික, මානසික මෙන්ම තාක්ෂණික දක්ෂතා උපරිම මට්ටමකට ගෙන ඒම සඳහා ඉවහල් වනු ඇත.
මේ සම්බන්ධයෙන් වන විශේෂ සමාලෝචන හා සැලසුම් සහගත සාකච්ඡාවක් පසුගියදා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, අදාළ විශේෂඥ කමිටු සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙහිදී ඉදිරි ව්‍යාපෘති සැලසුම් ක්‍රියාවට නැංවීම, එහි ව්‍යූහය සැකසීම සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ හා විශේෂඥයන්ගේ අදහස් හා යෝජනා සමාලෝචනය කිරීම දීර්ඝ වශයෙන් සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ නව පෙරළියක් ඇති කරමින්, අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර පදක්කම් කරා යාමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙම මධ්‍යස්ථානයේ ප්‍රධානතම අරමුණයි.
















