ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර පිහිටි ප්‍රධාන මාර්ගයක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් නම් කිරීමත් සමඟ ඒ පිළිබඳ සිය කෘතවේදීත්වය පළ කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. හයිද්‍රාබාද්හි නානාක්‍රම්ගුඩා ප්‍රදේශයේ පිහිටි මෙම මාර්ගයේ නාම පුවරුව ඉන්දියාවේ අමෙරිකානු තානාපති සේරියෝ ගෝර් සහ තෙලන්ගානා නියෝජ්‍ය මහ ඇමති මල්ලු භාට්ටි වික්‍රමාර්කා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා නිරාවරණය කරනු ලැබීය. මෙම ක්‍රියාවලිය හරහා තමන් මෙවන් ගෞරවයකට පාත්‍ර වූ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා බව සඳහන් කරමින් ට්‍රම්ප් සිය නිල ‘ටෘත්’ සමාජ ජාල ගිණුම හරහා ඉන්දියාව වෙත ස්තූතිය පුද කර ඇත.
මෙම තීරණය ගනු ලැබුවේ 2025 වසරේදී තෙලන්ගානා මහ ඇමති ඒ. රේවන්ත් රෙඩ්ඩි මහතා විසින් දියත් කරන ලද, ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ සහ ගෝලීය ආයතනික නාමයන්ගෙන් හයිද්‍රාබාද්හි ප්‍රධාන මාර්ග නම් කිරීමේ පුළුල් සංවර්ධන සැලැස්මේ කොටසක් ලෙසිනි. දේශපාලනික නායකයින්ගේ නම්වලින් ඔබ්බට ගොස් ගෝලීය තාක්ෂණික හා ආයතනික සන්නාමයන් හයිද්‍රාබාද් නගරයේ යටිතල පහසුකම් සමඟ බද්ධ කිරීම මගින් ආයෝජන ආකර්ෂණය කර ගැනීම මෙම වැඩසටහනේ මූලික අපේක්ෂාව විය. විශේෂයෙන්ම එක්සත් ජනපද තාක්ෂණික සමාගම් සහ කොන්සල් කාර්යාල පිහිටි කලාපයක් මෙම මාර්ගය ඔස්සේ පිහිටීම නිසා මෙය ඉන්දු-ඇමරිකානු උපායමාර්ගික සබඳතාවන්හි සංකේතයක් ලෙසද සැලකේ.
එළඹෙන කාලසීමාව තුළ හයිද්‍රාබාද්හි අනෙකුත් ප්‍රධාන මාර්ග ද ගෝලීය සමාගම්වල නාමයන්ගෙන් නම් කිරීමට නියමිත අතර, මෙය එම නගරය ජාත්‍යන්තර ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමේ උපායමාර්ගික පියවරක් වනු ඇත. දේශපාලන සහ ආයතනික නාමකරණයන් හරහා ගොඩනැගෙන මෙම නව සංස්කෘතිය, ඉදිරියේදී කලාපීය ආර්ථික සහ තාක්ෂණික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමට මෙන්ම, ගෝලීය වශයෙන් නගරයේ කීර්තිනාමය ඉහළ නැංවීමට ද ඉවහල් වනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි. මෙම නව මාවත නම් කිරීමත් සමඟ ඉන්දු-ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික බැඳීම තවදුරටත් සමීප වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















