කරුණාව, දයාව, සමානාත්මතාව, විනය සහ වගකීම වැනි උතුම් බෞද්ධ වටිනාකම් සමාජයේ පදනම බවට පත් කළ හැකි නම්, සාමකාමී, සාධාරණ සහ සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට වඩාත් පහසු වන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සිය පොසොන් දින පණිවිඩය මඟින් පවසයි.
අගමැතිවරිය සිය පණිවිඩය මඟින් අවධාරණය කළ කරුණු කිහිපයක් මෙසේය:
ශ්‍රී සම්බුද්ධ ශාසනය මෙරට ස්ථාපිත කළ මිහිඳු මහ රහතන් වහන්සේගේ ඓතිහාසික ධර්ම දූත මෙහෙවර සිහිපත් කරමින් සමරන පොසොන් පොහොය, ආධ්‍යාත්මික අවබෝධය, ප්‍රඥාව සහ සමාජ සමානාත්මතාව අපට සිහිපත් කරන පුණ්‍යවන්ත දිනයකි. මෙය හුදෙක් ආගමික සිදුවීමක් පමණක් නොව, ජාතික චින්තනය, සංස්කෘතිය සහ සදාචාරාත්මක ජීවන රටාව පරිවර්තනය කළ ඓතිහාසික සංධිස්ථානයක් බව අගමැතිවරිය පෙන්වා දෙයි. පොසොන් පොහොය අපට සිහිපත් කරන්නේ පුද්ගල සංවර්ධනය ආරම්භ වන්නේ මිනිසාගේ සිත තුළින් බවයි.
අද අපේ රට නව බලාපොරොත්තු සහිත ගමන් මඟකට පිවිස ඇති අතර, එම ගමන සාර්ථක කර ගැනීමට ආර්ථික ප්‍රගතිය පමණක් නොව සදාචාරාත්මක වටිනාකම්වලින් සුපෝෂිත සමාජයක් ද අත්‍යවශ්‍ය වේ. සදාචාරය, අවිහිංසාව සහ මානව දයාව ජනතා අපේක්ෂා ඉටු කරන සාධාරණ රටක් ගොඩනැඟීම වෙනුවෙන් වූ රජයේ අරමුණ වෙත මඟ පෙන්වීමක් ලෙස අගමැතිවරිය හඳුන්වා දෙයි. අවසාන වශයෙන්, උදාවූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය සියලුම බෞද්ධ ජනතාවගේ ජීවිතවලට නිවීම, සැනසීම, ප්‍රඥාව සහ සෞභාග්‍යය උදා කරන පින්බර දිනයක් වේවායි ඇය ප්‍රාර්ථනා කරයි.
















