පොසොන් උත්සව සමයේ බැතිමතුන් ඉලක්ක කර පානීය ජල බෝතල්වල අසුරා තිබූ නීතිවිරෝධී මත්පැන් (කසිප්පු) තොගයක් සුරාබදු විශේෂ බුද්ධි ඒකකය විසින් පසුගිය සිකුරාදා (26) අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අපරාධයේ ස්වභාවය වන්නේ හිස් පානීය ජල බෝතල්වලට කසිප්පු පුරවා, මූඩි සීල් කොට, ජල බෝතල් ලෙසම වෙස් ගන්වා ඒවා අලෙවි කිරීමට සැකකරු සූදානම් කර තිබීමයි. සැකකරු සතුව තිබී මිලිලීටර් 500ක පානීය ජල බෝතල් 16ක පුරවා තිබූ කසිප්පු තොගයක් සොයාගෙන ඇත. සුරාබදු විශේෂ බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත, ගැනුම්කරුවෙකු ලෙස උපාය දූතයෙකු යොදවා මෙම වැටලීම සාර්ථකව සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර, කිරුකුලම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි. පොසොන් උත්සව සමයේ මෙවැනි නීතිවිරෝධී ක්‍රියා මැඩලීම සඳහා සුරාබදු විශේෂ බුද්ධි ඒකකය විසින් නිලධාරීන් කණ්ඩායම් දෙකක් විශේෂ රාජකාරියේ යොදවා ඇති බවත් එම ඒකකය වැඩිදුරටත් ප්‍රකාශ කරයි. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත සුරාබදු විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
















