ළමා ශ්‍රමිකයන් සේවයේ යොදවන පුද්ගලයන්ට එරෙහිව පනවන දඩ මුදල් සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ. යෝජිත නීති සංශෝධන යටතේ එම දඩ මුදල රුපියල් 100,000ක් දක්වා ඉහළ යනු ඇත.
කම්කරු අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කාන්තා, තරුණ සහ ළමුන් සේවයේ යෙදවීමේ පනත සංශෝධනය කිරීමේ කොටසක් ලෙසිනි. අදාළ සංශෝධිත පනත් කෙටුම්පත දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම සංශෝධනවලට අනුව ඕනෑම රාජ්‍ය හෝ පෞද්ගලික කාර්මික කටයුත්තකදී ළමයෙකු සේවයේ යෙදවීම වරදක් බව ඔප්පු වුවහොත්, එම පුද්ගලයා රුපියල් 100,000ක් දක්වා වූ දඩයකට යටත් කෙරේ. පවතින නීතිය යටතේ උපරිම දඩය රුපියල් 10,000ක් පමණි. නව සංශෝධිත නීති මගින් දඩ මුදලට අමතරව හෝ දඩ මුදල වෙනුවට මාස 12ක් දක්වා සිරදඬුවම් ලබා දීමටද අධිකරණයට බලය ලැබේ.
මෙම නීති සංශෝධන මගින් වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් සේවයේ යෙදවීමේ වැරදි දැඩි ලෙස පාලනය කිරීම රජයේ අපේක්ෂාවයි.
















