වෛරය වෙනුවට මෛත්‍රිය සහ අසාධාරණය වෙනුවට යුක්තිය සැම හදවතකම ජනිත වේවායි ප්‍රාර්ථනා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පොසොන් දින පණිවිඩය නිකුත් කර තිබේ.
විපක්ෂ නායකවරයා සිය පණිවිඩය මඟින් පෙන්වා දුන් කරුණු කිහිපයක් පහත දැක්වේ:
පොසොන් පොහොය යනු ශ්‍රී ලාංකේය ආධ්‍යාත්මික ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථානයක් මෙන්ම මිනිසාගේ සිත, සමාජය සහ රාජ්‍යය යහපත් මඟකට යොමු කළ ආධ්‍යාත්මික විප්ලවයක සංකේතයකි. මිහිඳු මහ රහතන් වහන්සේ සහ දේවානම්පියතිස්ස රජතුමා අතර සිදු වූ ඓතිහාසික සාකච්ඡාවෙන් උගන්වන්නේ, සැබෑ දියුණුව ගොඩනැඟෙන්නේ බලය හෝ ධනය මත නොව ප්‍රඥාව, සංවාදය සහ අවබෝධය මත බවයි. අභියෝග රැසක් හමුවේ සිටින වත්මන් ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වන්නේ බෙදී වෙන්වීම නොව එකමුතුකම, වෛරය නොව මෛත්‍රිය සහ අසාධාරණය වෙනුවට යුක්තිය බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
බුදු දහමේ හරය වන කරුණාව, දයාව, සමානාත්මතාව සහ සත්‍යගරුකභාවය ජාතික ගමන්මඟේ මූලික වටිනාකම් බවට පත් කර ගැනීමට මෙම පුණ්‍ය දිනයේ අධිෂ්ඨාන කර ගත යුතුය. විවිධ ආගම්, ජාතීන් සහ සංස්කෘතීන් නියෝජනය කරන ජනතාවක් ලෙස අන්‍යෝන්‍ය ගෞරවය, සහජීවනය සහ මානුෂීයත්වය පදනම් කරගත් සාධාරණ හා සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම අප සැමගේ වගකීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
















