2028 ලොස් ඇන්ජලීස් (LA28) ඔලිම්පික් උළෙල සඳහා පිරිමි සහ කාන්තා ක්‍රිකට් (T20) කණ්ඩායම් සුදුසුකම් ලබාගන්නා ආකාරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සහ ඔලිම්පික් කමිටුව (IOC) විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ අනුව පිරිමි සහ කාන්තා අංශ දෙකෙන්ම රටවල් 6 බැගින් පමණක් මෙවර ඔලිම්පික් වරම් ලබා ගැනීමට නියමිතය.
කාන්තා අංශය වෙනුවෙන් පැවැත්වෙන 2026 කාන්තා T20 ලෝක කුසලාන දක්ෂතා මත ඔස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍යය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව මහාද්වීපයකට එක රට බැගින් දැනටමත් ඔලිම්පික් වරම් ලබාගෙන ඇත. පිරිමි අංශය සඳහා 2026 දෙසැම්බර් 31 වනදා පවතින ICC T20 ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාව, අප්‍රිකාව, යුරෝපය සහ ඕෂනියා මහාද්වීපවලින් පෙරමුණේම සිටින කණ්ඩායම් 4ක් සෘජුවම සුදුසුකම් ලබනු ලබයි.
සත්කාරක ඇමෙරිකානු පිරිමි සහ කාන්තා කණ්ඩායම්වලට සෘජුවම ඔලිම්පික් වරම් හිමිවීමට නම් ඔවුන් 2026 අවසන් වීමට පෙර ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුල් 15 දෙනා අතරට පැමිණිය යුතු වේ. මෙලෙස තේරී පත්වන කණ්ඩායම්වලට අමතරව ඉතිරි වන අවසන් කණ්ඩායම් තෝරාගැනීම සඳහා 2027 වසරේදී විශේෂ “ICC ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියක්” (ICC Olympics Qualifier) පැවැත්වීමට කටයුතු යොදා ඇත. බටහිර ඉන්දීය කොදෙව් දූපත් (West Indies) එක රටක් ලෙස ඔලිම්පික් කමිටුව පිළි නොගන්නා බැවින් ඔවුන්ට සෘජුවම සහභාගි විය නොහැකි අතර, ඒ වෙනුවට කැරිබියන් කලාපය වෙනුවෙන් වෙනම සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පැවැත්වීමට නියමිතය. ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී මෙම කණ්ඩායම් 3 බැගින් කාණ්ඩ 2කට බෙදා මූලික වටය පවත්වන අතර සමස්ත තරගාවලිය පුරා තරග 28ක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
















