ගෝලීය භූ දේශපාලනික තරගකාරිත්වය හමුවේ ශ්‍රී ලංකාව බරපතළ අවදානමකට ලක්ව ඇති බැවින්, අතීතයේ එකට එක්ව සෘජු අධිරාජ්‍යවාදය පරාජය කළා සේ අද රටට බලපෑම් කරන වක්‍ර අධිරාජ්‍යවාදය ද පරාජය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ සිතුල්පව්ව මඟුල් මහා විහාරයේ පැවැති ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවයට එක්වෙමිනි.
ඉන්දියන් සාගරය සාම කලාපයක් වෙනුවට වර්තමාන ලෝක දේශපාලන අර්බුද හේතුවෙන් යුදමය සහ සීතල යුදමය අවදානමකට ලක්ව ඇති බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, පසුගිය වසර 7 තුළ පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා මහා ඛේදවාචක පහකට රටක් ලෙස මුහුණ දීමට සිදු වූ බව ද මතක් කළේය.
රට අභ්‍යන්තරයේ කුමන දේශපාලන මතභේද තිබුණ ද, විදේශීය භූ දේශපාලන අභියෝගවලට රට යටත් නොකිරීමට සියලු පුරවැසියන් වගබලා ගත යුතු බව ඔහු සඳහන් කළේය. ඒ අනුව, ජාති, ආගම් හෝ පක්ෂ භේදයකින් තොරව රටේ භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස සහ ස්වෛරීත්වය සුරැකීම වෙනුවෙන් පෙළගැසෙන ලෙස ද විපක්ෂ නායකවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
















