දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු-මැද, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පුරා විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා වන තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
අද (01) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර, ඌව පළාත, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලට පස්වරු 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි වී මුහුද රළු විය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු රළ උස මීටර් 2.0 සිට 3.0 දක්වා ඉහළ යා හැකි බැවින්, ධීවර හා නාවික ප්‍රජාවට ඉදිරි නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.
















