ඇමෙරිකාවේ සූර්ය බලශක්ති (Solar) පද්ධති සහ බැටරි, එරට ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ධ කරන “ඉන්වර්ටර්” (Inverters) උපාංග හරහා චීනයට ඇමෙරිකාවේ විදුලිය විසන්ධි කිරීමේ හැකියාවක් ඇතැයි යන බිය නිසා, චීන නිෂ්පාදිත ඉන්වර්ටර් තහනම් කිරීමට ට්‍රම්ප් පරිපාලනය නව නීති කෙටුම්පත් කරමින් සිටී.
පසුගිය වසරේදී ඇමෙරිකානු විශේෂඥයන් විසින් චීන ඉන්වර්ටර් ගලවා පරීක්ෂා කිරීමේදී, ඒවායේ නිෂ්පාදන ලේඛනවල සඳහන් නොවන රහසිගත සන්නිවේදන උපාංග (Rogue communication gear) සොයා ගැනීමත් සමඟ මෙම දැඩි තීරණය ගැනීමට බලධාරීන් පෙළඹී ඇත. ලෝකයේ වැඩිම ඉන්වර්ටර් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ චීනයේ ‘Sungrow’ සහ ‘Huawei’ සමාගම් වන අතර, ඔවුන් ඉතා අඩු මිලට මේවා ලබා දීම නිසා යුරෝපය සහ ඇමෙරිකාව පුරා විශාල වශයෙන් චීන ඉන්වර්ටර් භාවිතයට හුරු විය.
බලශක්ති ආරක්ෂක විශේෂඥයන් පෙන්වා දෙන්නේ, තමන්ගේම රටවල විදුලි පද්ධති පාලනය කිරීමේ බලය මෙම මිල අඩු චීන උපාංග හරහා බීජිං පාලනයට නතු වී ඇති බව යුරෝපය සහ ඇමෙරිකාව වටහා ගන්නේ ප්‍රමාද වී බවයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















