පසුගිය සඳුදා (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරමින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 25කින් අඩු කෙරිණි. කෙසේ වෙතත්, මෙම මිල අඩු කිරීම මත පදනම්ව පාසල් ප්‍රවාහන ගාස්තු හෝ ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බව අදාළ සංගම් පවසයි.
සමස්ත ලංකා පාසල් දරුවන් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන මිල අඩු වුවද, අමතර කොටස්, ටයර් සහ අනෙකුත් නඩත්තු වියදම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි. මීට පෙර රුපියල් 1,100ක් වැනි මිලකට තිබූ ලිහිසි තෙල් මිල රුපියල් 1,500 දක්වා ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුවක් බව සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි මහතා පෙන්වා දෙයි.
මෙවැනි තත්ත්වයක් තුළ මෙහෙයුම් වියදම්වලට විසඳුමක් නොමැතිව ගාස්තු අඩු කිරීම සේවාව පවත්වාගෙන යාමට බාධාවක් බවත්, ඒ සඳහා රජයේ මැදිහත්වීමක් අවශ්‍ය බවත් සංගමය අවධාරණය කරයි. මෙවැනි තත්ත්වයක් තුළ ගාස්තු අඩු කිරීමට නොහැකි වීම පිළිබඳව සංගමය කනගාටුව පළ කරයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කළ ද, ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැත.
















