ඕස්ට්‍රේලියාව සම්බන්ධ රජයේ ගෙවීමකින් හරවා යැවූ බව කියන ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක සයිබර් වංචාව සම්බන්ධයෙන් විමර්ශනවල කිසිදු ප්‍රගතියක් නොමැති බව ‘නිදහස් නීතිවේදීහු’ (Free Lawyers) සංවිධානය පවසයි.
එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ, මෙම සිද්ධියට මාස අටහමාරක් ගතවී තිබුණ ද, අදාළ රාජ්‍ය ආයතන පාර්ලිමේන්තුවට හෝ මහජනතාවට කිසිදු නිල ප්‍රකාශයක් සිදු නොකර තොරතුරු වසන් කිරීමට උත්සාහ කරන බවයි. මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව සහ පාර්ලිමේන්තුවේ පොදු මූල්‍ය කටයුතු පිළිබඳ කාරක සභාව මෙම තොරතුරු හෙළිදරව් නොකිරීම සැකකටයුතු බව ඔහු වැඩිදුරටත් පවසයි.
මෙම වංචාව ගනුදෙනු 10ක් ඔස්සේ සිදුකර ඇති බවත්, මුදල් ඇමරිකා එක්සත් ජනපදයට ගොස් ඇති බවත් මුල සිටම තම සංවිධානය හෙළි කළ ද, අදාළ බලධාරීන් මාස දෙකකට පසුව එම කරුණු සනාථ කළා මිස අලුත් හෙළිදරව්වක් සිදු කර නොමැති බව තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා හෝ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් නිසි වගකීමක් ඉටු නොකිරීම බරපතළ කාරණයක් බව ඔහු අවධාරණය කරයි.
ඕස්ට්‍රේලියාව සමඟ පැවති ද්විපාර්ශ්වික ගනුදෙනුවකට අදාළව භාණ්ඩාගාරයේ නිල ගෙවීම් සම්බන්ධ විද්‍යුත් තැපැල් හුවමාරුවලට සයිබර් ප්‍රහාරකයින් මැදිහත් වීමෙන් මෙම මුදල් වංචාව සිදුවිය. නිල නාලිකා ඔස්සේ ගෙවීම් සැකසුණ ද, අපේක්ෂිත ඕස්ට්‍රේලියානු පාර්ශවයට එම මුදල් නොලැබී තිබීම මෙම සිද්ධියේ සුවිශේෂී තත්ත්වයක් වී ඇත.
















