කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැණික්හින්න ප්‍රදේශයේදී “මුතු” නමැති හීලෑ අලියා පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (30) රාත්‍රි 8.00 ට පමණ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත්තේ මැණික්හින්න ගණදෙවි විහාර භූමිය අසලදීය.මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැණික්හින්න මුදුන්කොත් ඉන්ධන පිරවුම්හලේ හිමිකරුගේ (අලියාගේ අයිතිකරුගේ) බාප්පා කෙනෙකි. “මුතු” නමැති මෙම අලියා අතින් මිනිස් ජීවිතයක් අහිමි වූ සිව්වැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.අලියා බැඳ තිබූ ස්ථානයේ සිට මීටර් 200ක් පමණ දුරින් පැවැති පාන් දන්සලකින් පාන් රැගෙන විත්, අලියාට ආහාරයට දීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇත. අලියා පුද්ගලයාට පහර දෙන අවස්ථාවේදී අවට සිටි පිරිස් ඔහුව බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගත්තද එය අසාර්ථක වී තිබේ. පහරදීමෙන් අනතුරුව දේහය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පැය දෙකහමාරකට ආසන්න කාලයක් ගතවී ඇත්තේ, පහරදීම සිදුකළ ස්ථානයේම අලියා දිගින් දිගටම රැඳී සිටීම හේතුවෙනි.මීට පෙරද අවස්ථා තුනකදී මිනිස් ජීවිත බිලිගත් මෙම අලියා, මෙවර තමන්ව රැකබලා ගත් පවුලේම සමීපතමයෙකු මෙලෙස බිලි ගැනීම ප්‍රදේශවාසීන් දැඩි කම්පනයට පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙනිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















