ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව කැත් රසායනාගාර ඒකක (Cardiac Catheterization Laboratory) ද්විත්වය සහ නවීකරණය කරන ලද හෘද රෝග සායන ඒකකය හෙට (02) පස්වරු 3.00 ට රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක් කිරීමට නියමිතය. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ඒකක ස්ථාපිත කර ඇත. මෙම නවීනතම තාක්ෂණයෙන් යුත් කැතීටකරණ පද්ධතිවල කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ තත්කාලීන රූපකරණ තාක්ෂණය අන්තර්ගත වන අතර, ෆ්ලුරොස්කොපි ක්‍රියාවලියේදී විකිරණ මාත්‍රාව සැලකිය යුතු ලෙස අඩු කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් රූප ලබා ගැනීමට හැකියාව පවතී.
මෙම වැඩපිළිවෙල මගින් රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා වන පොරොත්තු ලේඛන අවම කරමින්, රෝගී ජනතාවට වඩාත් වේගවත් හා නිවැරදි සේවාවක් ලබා දීම අරමුණු කෙරේ. පසුගිය දිනවල යාපනය ශික්ෂණ රෝහලේ සහ කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කැත් රසායනාගාර ඒකක ද රෝගී සේවාවට එක් කෙරිණි.















