සෞඛ්‍ය හා ආර්ථික පිරිවැය මෙන්ම පරිසර හායනය අවම කරමින් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න තිරසාර පරිසරයක් පුරවැසියන් වෙනුවෙන් සහතික කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි. තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කොමිසමේ (UNESCAP) පරිසර හා සංවර්ධනය පිළිබඳ 9 වැනි අමාත්‍ය මට්ටමේ සැසියට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
කුඩා දූපත් රාජ්‍යයක් ලෙස දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ගංවතුර, අධික වර්ෂාපතනය සහ මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් භූගත ජල මූලාශ්‍ර ලවණීකරණය වීමේ අභියෝග පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම අභියෝග ජය ගැනීමට හුදෙකලා ප්‍රතිපත්ති වෙනුවට සොබාදහම පදනම් කරගත් විසඳුම් සහ තිරසාර නාගරික සංවර්ධනය ඒකාබද්ධ කරන නව්‍ය ප්‍රවේශයක අවශ්‍යතාවය ඔහු පෙන්වා දුන්නේය. තවද, ඉදිරියේදී පැවැත්වෙන ජෛව විවිධත්වය පිළිබඳ COP17 සමුළුව සහ දේශගුණික විපර්යාස පිළිබඳ COP31 සමුළුව ඇතුළු රියෝ සම්මුතීන් සඳහා ශ්‍රී ලංකාවේ සක්‍රීය දායකත්වය ලබාදීමට සූදානම් බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















