වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව (SPT) සිය දෙවන ශ්‍රී ලංකා සංචාරය 2026 ජූනි 24 වැනි දින නිම කර තිබේ. ජූනි 15 සිට 24 දක්වා පැවති මෙම සංචාරය අතරතුර, සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර යන මහත්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හමුවිය.මෙම සාකච්ඡාවලදී වධහිංසා සම්බන්ධයෙන් රජයේ පවතින “ශුන්‍ය-ඉවසීමේ” (Zero-Tolerance) ප්‍රතිපත්තිය තහවුරු කෙරුණු අතර, මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහ අදාළ ගිවිසුම් ආයතන සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වීමට ඇති කැපවීම ප්‍රකාශයට පත් කෙරිණි. අනුකමිටුව විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL), අධිකරණ සේවා කොමිසම සහ සිවිල් සමාජ නියෝජිතයන් ද හමුවී අදහස් හුවමාරු කර ගත්හ.රැඳවුම් මධ්‍යස්ථාන වෙත බාධාවකින් තොරව ප්‍රවේශ වීමට ඉඩකඩ ලබා දීම සහ සංචාරය පුරාවට රජයෙන් ලැබුණු සහයෝගය අනුකමිටුව විසින් ඇගයීමට ලක් කරන ලදී. 2017 වසරේදී වධහිංසාවට එරෙහි සම්මුතියේ විකල්ප ප්‍රොටෝකෝලයට (OPCAT) ශ්‍රී ලංකාව ඇතුළත් වීමෙන් පසු සිදු කළ මෙම දෙවන සංචාරය, ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමට සහ විනිවිදභාවයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව තුළ පවතින අඛණ්ඩ කැපවීම මනාව පිළිබිඹු කරන්නකි.
















