පසුගිය මැයි මාසයේ පැවති ඉහළ වර්ධනයෙන් පසු ජුනි මාසයේදී අමෙරිකානු නිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමී වී ඇති බව වාර්තා වේ. මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඇති වූ හිඟයන් සහ මිල ඉහළ යාම වළක්වා ගැනීම සඳහා ව්‍යාපාර විසින් කලින් ඇණවුම් ලබාදීම හේතුවෙන් පසුගිය මාසයේ පැවති ඉහළ වර්ධනය මෙලෙස යම්තාක් දුරට පහත වැටී ඇත.
ඇමරිකානු සැපයුම් කළමනාකරණ ආයතනය (ISM) බදාදා (ජූලි 01) නිකුත් කළ වාර්තාවට අනුව, මැයි මාසයේදී 54.0ක් ලෙස පැවති නිෂ්පාදන PMI දර්ශකය ජුනි මාසයේදී 53.3 දක්වා පහත වැටී තිබේ. කෙසේ වෙතත්, මෙම දර්ශකය තවමත් 50ට ඉහළ මට්ටමක පැවතීමෙන් අදහස් වන්නේ අමෙරිකානු ආර්ථිකයෙන් 9.4%ක් නියෝජනය කරන නිෂ්පාදන අංශය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බවයි. මෙම මන්දගාමී වීමට නොතකා, කෘත්‍රිම බුද්ධි (AI) ආයෝජන උත්පාතය හේතුවෙන් නිෂ්පාදන අංශය අඛණ්ඩව මාස හයක් පුරා වර්ධනයක් වාර්තා කර ඇත.
අමෙරිකානු-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම් මධ්‍යයේ වුවද, කෘත්‍රිම බුද්ධි ආයෝජන මෙම අංශයට මහත් ශක්තියක් වී තිබේ. ISM සමීක්ෂණයට අනුව නව ඇණවුම් මිනුම මැයි මාසයේ 56.8 සිට 56.0 දක්වා පහත වැටී ඇති අතර අපනයන අංශය ද යම් පසුබෑමකට ලක්ව ඇත. කෙසේ වෙතත්, ගැටුම් කලාපයේ පවතින අස්ථාවර සටන් විරාමය හේතුවෙන් සැපයුම් දාමයන් යම් මට්ටමකින් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ද වාර්තා වේ.
















