බේරේ වැව සහ ඓතිහාසික ගංගාරාම විහාරස්ථානය අවට ප්‍රදේශය ජාත්‍යන්තර සංචාරක සහ සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් යෝජිත “පන්සල් නගරය” (Temple City) ව්‍යාපෘතිය කඩිනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (ජූනි 30) පැවැත්විණි. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ මඟපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් මෙම ව්‍යාපෘතිය යෝජනා කර ඇත.
බේරේ වැව වටා පදික මංතීරුවක් ඉදිකිරීම, භූ දර්ශන අලංකරණය සහ දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් සඳහා පහසුකම් පුළුල් කිරීම මෙම සැලසුමට ඇතුළත් වේ. ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ රජයේ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම සාකච්ඡාව සඳහා හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්.ජී. හේමචන්ද්‍ර මහතා, කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත කුමාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජිතයන් සහ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ සහභාගි වූහ.
















