ඇමරිකා එක්සත් ජනපදයේ විශාල ප්‍රදේශයක් පුරා මෙම සතියේ දැඩි හා දිගුකාලීන තාප තරංගයක් (Heat Wave) බලපෑම් එල්ල කරනු ඇතැයි එරට ජාතික කාලගුණ සේවය (NWS) අනතුරු අඟවා තිබේ. එළඹෙන ජූලි 4 වන දිනට යෙදෙන නිවාඩු සති අන්තයට පෙර, මේ වන විටත් රට පුරා ජනතාව මිලියන 120කට ආසන්න පිරිසක් දැඩි තාප අනතුරු ඇඟවීම් යටතේ පසුවන බව එම නිවේදනයේ සඳහන් වේ. නැගෙනහිර වෙරළ තීරයේ සිට මධ්‍යම ප්‍රදේශ දක්වා විහිදෙන මෙම තාප තරංගය හේතුවෙන් දිවා කාලයේ අධික උෂ්ණත්වයක් මෙන්ම රාත්‍රී කාලයේ ද උණුසුම් කාලගුණයක් පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇත.
කාලගුණ විද්‍යාඥයින් පවසන පරිදි, මැදපෙරදිග සහ මිසිසිපි නිම්නයේ උෂ්ණත්වය දැනටමත් උපරිම සීමාවන්ට ළඟාවී ඇති අතර, ඉදිරි දිනවලදී එය ඔහියෝ නිම්නය හා නැගෙනහිර වෙරළ තීරය වෙත ගමන් කිරීමට නියමිතය. මෙහිදී සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 සිට 40.6 දක්වා ඉහළ යා හැකි වුවද, පවතින ඉහළ ආර්ද්‍රතාවය හේතුවෙන් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය (Heat Index) සෙල්සියස් අංශක 38 සිට 46 දක්වා අතිශය භයානක මට්ටමකට ඉහළ යා හැකි බවට අනාවැකි පළ වේ. මේ හේතුවෙන් එළිමහන් කටයුතු සීමා කරන ලෙසත්, ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත් බලධාරීන් ජනතාවට උපදෙස් දී ඇති අතර, නිව්යෝර්ක් සහ ඩෙට්රොයිට් වැනි ප්‍රධාන නගර රැසක වායුසමීකරණ පහසුකම් සහිත සිසිලන මධ්‍යස්ථාන සිය ගණනක් විවෘත කර තිබේ.
මෙම අර්බුදකාරී තත්ත්වය මේ දිනවල ඇමරිකාවේ පැවැත්වෙන ෆීෆා (FIFA) ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ද සෘජුවම බලපෑම් එල්ල කර ඇති අතර, ඇතැම් අවස්ථාවලදී එළිමහන් තරග පැවැත්වීම ක්‍රීඩකයන්ට අනාරක්ෂිත විය හැකි බව ක්‍රීඩකයන්ගේ ගෝලීය සංගමය (FIFPRO) පෙන්වා දෙයි. මේ අතර ඇමරිකාවට අසල්වැසි කැනඩාවේ ඔන්ටාරියෝ සහ මොන්ට්‍රියෙල් ඇතුළු ප්‍රදේශ රැසකට ද මෙලෙසම දැඩි තාප තරංග බලපෑම් එල්ල වී ඇති අතර, ඔන්ටාරියෝ පළාත සඳහා දැනටමත් දෙවන මට්ටමේ (Orange) තාප අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කැනඩා බලධාරීන් පියවර ගෙන ඇත.
















