පෙළපොත්, ඩෙස්ක් පුටු හෝ පන්ති කාමර වැනි මූලික පහසුකම් කිසිවක් නොමැතිව, ගාසා තීරයේ දරුවන් අඛණ්ඩව දෙවැනි වසරටත් සිය ද්විතීයික පාසල් විභාගයට මුහුණ දෙමින් සිටින බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ගාසා තීරයේ සියලුම අධ්‍යාපන ආයතන සහ පාසල් වසා දමා ඇති අතිදුෂ්කර වටපිටාවක, ලක්ෂ හයකට අධික සිසුන් පිරිසක් සරණාගත කඳවුරුවල පිහිටි තාවකාලික කූඩාරම් සහ අන්තර්ජාල කැෆේ තුළ සිට මෙම විභාගයට පෙනී සිටිති.
දිගින් දිගටම පවතින යුද ගැටුම් හේතුවෙන් මෙවර විභාග ප්‍රශ්න පත්‍ර සිසුන් වෙත ලබා දෙන්නේ අන්තර්ජාලය ඔස්සේය. මේ නිසා සිය ජංගම දුරකතනවලට අන්තර්ජාල සහ විදුලි පහසුකම් සපයා ගැනීම සඳහා දරුවන්ට දීර්ඝ වේලාවක් දැඩි උත්සාහයක නිරත වීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසාහි බොහෝ පාසල් ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, අවතැන්වූවන් රැඳී සිටින සරණාගත කඳවුරු මෙලෙස විභාග මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීමට සිදුව තිබේ.
මධ්‍යම ගාසා තීරයේ අධ්‍යාපන අධ්‍යක්ෂ මොහොමඩ් හම්ඩාන් ප්‍රකාශ කර ඇත්තේ, මෙතෙක් ඉතිහාසයේ කිසිදු දිනෙක මුහුණ නොදුන් අර්බුදකාරී තත්ත්වයක් යටතේ මෙවර විභාගය පැවැත්වෙන බවයි. කෙසේ වෙතත්, බටහිර ඉවුරේ පලස්තීන බලධාරීන් සමඟ ඒකාබද්ධව සම්බන්ධීකරණය කරමින් ගාසා තීරයේ මෙම විභාගය පවත්වන පළමු අවස්ථාව ද මෙය වේ. යුනිසෙෆ් සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව ගාසා තීරයේ පාසල් 740කට වඩා සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර, සමස්ත අධ්‍යාපන පද්ධතියම දැඩි ලෙස බිඳවැටීමකට ලක්ව ඇත.
















