ඩෙංගු අධි අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති ජා-ඇළ, කඳවත්ත ප්‍රදේශයේ පොදු ක්‍රීඩාංගණයට නිවෙස්වල අපද්‍රව්‍ය බැහැර කරන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර හරහා උපදෙස් දුන් සජබ මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසකට කඳාන පොලීසිය විසින් දැඩි ලෙස අවවාද කර තිබේ.
ජා-ඇළ නගර සභාවේ සභාපති රොෂාන් නෝනිස් මහතා (ජාජබ) චෝදනා කරන්නේ, කඳවත්ත ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථාන මංගල්‍යයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින්, දේවස්ථාන මණ්ඩලයේ ද කිසිදු අනුදැනුමකින් තොරව මෙම මන්ත්‍රීවරයා ප්‍රදේශවාසීන්ට කුණු ක්‍රීඩාංගණයට දමන ලෙස පවසා ඇති බවයි. නගර සභාව සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අපහසුතාවට පත්කිරීමේ පටු චේතනාවෙන් මෙම නීතිවිරෝධී ක්‍රියාව සිදුකර ඇති බව සභාපතිවරයා පවසයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂක විජේසිංහ මහතා සඳහන් කළේ, මෙලෙස ක්‍රීඩාංගණයට බැහැර කර ඇති අපද්‍රව්‍ය අතර ඩෙංගු මදුරුවන් බෝවීමට ඉවහල් වන දෑ රැසක් පවතින බවයි. රට තුළ ඩෙංගු උවදුර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මෙවැනි පසුබිමක මහජන නියෝජිතයෙකු මෙලෙස කටයුතු කිරීම ප්‍රදේශවාසීන්ගේ ද දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.














