විනිසුරුවරුන්ගේ වෘත්තීය දැනුම සහ අත්දැකීම් මැනවින් මුහුකුරා යන්නේ අවුරුදු 60 සිට 70 දක්වා වූ වයස් සීමාවේදී බව අධිකරණ, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. ස්වාධීන රූපවාහිනියේ (ITN) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති වුවද, ඒ පිළිබඳව විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ඔහු පැවසීය. ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් විශ්‍රාම යන වයස ඉතා අඩු මට්ටමක පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දකුණු අප්‍රිකාවේ එම වයස අවුරුදු 70ක් ද, එංගලන්තයේ අවුරුදු 75ක් ද වන බව සිහිපත් කළේය.
“අවුරුදු 60 කියන්නේ නඩු අසා හොඳින් පළපුරුද්දක් ලබා ඇති වයසක්. එවැනි වයසකදී ඔවුන් විශ්‍රාම ගැන්වීමෙන් පසු ඔවුන්ගේ සේවය පුද්ගලික අංශයට හිමිවන අතර රජයට සිදුවන්නේ ඔවුන්ට විශ්‍රාම වැටුප් ගෙවීමටයි. මෙය රටට සිදුවන පාඩුවක්” යැයි අමාත්‍යවරයා පැවසීය. වර්තමානයේ පවතින සෞඛ්‍ය තත්ත්වයන් සහ ආයු අපේක්ෂාව ඉහළ යාම ද සැලකිල්ලට ගනිමින්, මෙම සංශෝධනය සමස්ත අධිකරණ පද්ධතියටම සාධාරණ වන පරිදි විද්‍යාත්මක පදනමක් මත සිදු කිරීමට රජය අපේක්ෂා කරන බව ද ඔහු අවධාරණය කළේය.
විශ්‍රාම වයස දීර්ඝ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වන බවට එල්ල වන චෝදනා තර්කානුකූල නොවන බවත්, රජය කරන්නේ එක් විනිසුරුවරයෙකුගේ වයස පමණක් වැඩි කිරීම නොව සමස්ත පද්ධතියේම වයස් සීමාව සංශෝධනය කිරීම බැවින් කාටවත් අසාධාරණයක් නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














