ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන් සිව්දෙනෙකුට එරට ක්‍රිකට් ආයතනය (BCB) අවසර ලබා දී තිබේ. ඒ අනුව ඔවුන්ට ඉදිරියේදී පැවැත්වීමට නියමිත සිම්බාබ්වේට එරෙහි පන්දුවාර 20යි 20 (T20I) තරග 3කින් යුත් ජාතික තරගාවලිය මඟහැරෙනු ඇත.
මෙලෙස LPL තරගාවලිය සඳහා ‘අනාක්ෂේපණ සහතික’ (NOC) හිමිකරගෙන ඇත්තේ බංග්ලාදේශ T20 කණ්ඩායමේ නායක ලිට්ටන් දාස් (Litton Das), තුන්ඉරියව් ක්‍රීඩක මෙහීදි හසන් මිරාස් (Mehidy Hasan Miraz) සහ වේගපන්දු යවන්නන් වන තස්කින් අහමඩ් (Taskin Ahmed) හා හසන් මහමුද් (Hasan Mahmud) ය.
ජාතික කණ්ඩායමේ නිල තරග කාලසටහන සමඟ LPL තරගාවලිය එකම වකවානුවක යෙදී තිබුණ ද, ක්‍රීඩකයන් ලබාගෙන ඇති ගිවිසුම්වලට ගරු කරමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත්, නායකයා ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් සිව්දෙනෙකුම නොමැති වීම ඉදිරි සිම්බාබ්වේ මවුබිම් තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමට දැඩි අභියෝගයක් වනු ඇතැයි විචාරකයෝ පවසති.














