ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2026 ඇසළ මහා පෙරහර මංගල්‍යය උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කිරීම පිළිබඳ විශේෂ පෙරහර කමිටු රැස්වීම දෙවන වරටත් ඊයේ (01) උදෑසන කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
මෙම රැස්වීම පැවැත්වුණේ ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධාන අනුශාසකත්වයෙන් යුතුවය.
පෙරහර මංගල්‍යය ඉතා සාමකාමී හා සාර්ථක අයුරින් පැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, ඒ සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා, කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංක මහතා සහ මොනරාගල දිස්ත්‍රික් ලේකම්වරයා (දිසාපති) ඇතුළු දේශපාලන හා රාජ්‍ය අංශයේ ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ. මෙම ජාතික පුණ්‍යකර්මය වෙනුවෙන් රාජ්‍ය, පෞද්ගලික සහ ස්වේච්ඡා සංවිධාන රැසක නිලධාරීන් සිය උපරිම දායකත්වය දැක්වීමට මෙහිදී එකඟතාව පළ කර ඇත.














