ශ්‍රී ලාංකේය පෝෂණයේ අභිමානය රැගත් ‘Agri Taste-2026’ ජාතික ආහාර ප්‍රවර්ධන ප්‍රදර්ශනය සහ වෙළෙඳපොළ හෙට (03) සහ අනිද්දා (04) ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය මඟින් සංවිධාන කරනු ලබන මෙම ප්‍රදර්ශනය සවස 4.00 සිට රාත්‍රී කාලය දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දේශීය ආහාර භෝග ආශ්රයෙන් සිදු කරන ගුණාත්මක නිෂ්පාදන මහජනයා අතර ප්‍රචලිත කිරීම සහ කෘෂි ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ප්‍රදර්ශන හා අලෙවි කුටි 100කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම පරිශ්‍රය තුළ ආහාරපාන සැකසීම සජීවීව (Live Cooking) ඉදිරිපත් කෙරෙන අතර, පර්යේෂණ ආයතන හා විශ්වවිද්‍යාල මඟින් වැඩිදියුණු කළ නව්‍යකරණය වූ ආහාර (Innovative Food) රැසක සාම්පල නොමිලේ රස විඳීමට ද පැමිණෙන ජනතාවට අවස්ථාව හිමි වේ.
මෙහිදී බඩඉරිඟු, කුරක්කන්, සෝයා, මුංඇට, බතල, මඤ්ඤොක්කා ඇතුළු ප්‍රධාන දේශීය භෝග 13ක් ඇසුරින් නිපදවූ ආහාර, සාම්ප්‍රදායික කැවිලි, ප්‍රසිද්ධ වීදි ආහාර (Street Food), බාබකියු (Barbecue), අයිස්ක්‍රීම් සහ නැවුම් පළතුරු බීම වර්ග සහන මිලට ලබාගත හැකිය. මීට අමතරව, ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන පිරිස් වෙනුවෙන් වීදි නාට්‍ය සංදර්ශන සහ කැලිප්සෝ සංගීතමය වැඩසටහන් ද සංවිධානය කර ඇති අතර, ආහාර කල්තබා ගැනීමේ නව තාක්ෂණික දැනුම ද මෙහිදී නොමිලේ ලබාගත හැකිය.














