මත්ද්‍රව්‍ය නිවාරණ පුනරුත්ථාපන ක්‍රියාවලිය සාර්ථකව නිම කළ තරුණ තරුණියන් වෙනුවෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි රැකියා අවස්ථා ලබා දීමේ වැඩසටහනක් රජය විසින් හඳුන්වා දී තිබේ. පුද්ගලික අංශයේ පවතින ස්ථිර රැකියා පුරප්පාඩු 400,000කට අධික සංඛ්‍යාවක් සමඟ ඔවුන්ව සම්බන්ධ කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන පරිදි, පුනරුත්ථාපනය වූ තරුණ පිරිසට වෘත්තීය කුසලතා ලබා දී ඉදිකිරීම්, ටයිල් නිෂ්පාදනය, පාවහන්, සම්භාණ්ඩ සහ මෝටර් රථ ක්ෂේත්‍ර වැනි දැනට ශ්‍රම හිඟයක් පවතින කර්මාන්ත සඳහා ඔවුන් බඳවා ගැනීම මෙම වැඩසටහන හරහා සිදුවේ.
විදේශීය ශ්‍රමිකයන් මත යැපීම අවම කරමින්, දේශීය ශ්‍රමිකයන්ට අවස්ථා නිර්මාණය කිරීම මගින් මෙරට කර්මාන්ත ක්ෂේත්රයේ පවතින ශ්‍රම හිඟය විසඳීම මෙම ව්‍යාපෘතියේ අපේක්ෂාවයි.
ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, පුනරුත්ථාපන කාර්යාංශය, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සහ කර්මාන්ත අමාත්‍යාංශය යන ආයතනවල ඒකාබද්ධ ප්රයත්නයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහන දියත් කිරීමේ අවස්ථාව සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතනවල නියෝජිතයින් එක්ව සිටියහ.














