මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකය විසින් පසුගිය 30 වැනිදා හදිසි අනතුරු තුවාලකරුවන් ඉවත් කිරීමේ සාර්ථක මෙහෙයුමක් සිදු කර තිබේ.
සැම්බියානු බළඇණියට අයත් භට පිරිස් අම් දෆොක් ප්‍රදේශයේ මුර සංචාරයක යෙදී සිටියදී හඳුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් පසු මෙම හදිසි මෙහෙයුම දියත් කෙරිණි. ප්‍රහාරය සඳහා ඔවුන් විසින් ප්‍රහාරක රයිෆල්, රොකට් ප්‍රචාලිත ග්‍රෙනේඩ් සහ මැෂින් තුවක්කු භාවිතා කර ඇති අතර, ඉන් සැම්බියානු සාම සාධක භටයන්, සිවිල් වැසියන්, ජෙන්ඩර්මරි නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිප දෙනෙකු තුවාල ලැබූහ.
ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් වෙනත් ගුවන් යානයකට මෙම මෙහෙයුම ඉටු කිරීමට නොහැකි වූ අවස්ථාවක, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Mi-17 හෙලිකොප්ටර් යානය මෙහෙයුම භාර ගත්තේය. මෙහෙයුම සඳහා කණ්ඩායම් නායක ගෲප් කැප්ටන් අසිරි පතිරගේ සහ කො-පයිලට් ෆ්ලයිට් ලුතිනන් දිල්හාෂ් අතපත්තු ඇතුළු කාර්ය මණ්ඩලය සම්බන්ධ විය.
ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය ඉතා අස්ථාවරව පැවතියද, ගුවන් හමුදා කණ්ඩායම අර්ධ වශයෙන් ආරක්ෂා කරගත් හෙලිපෑඩයකට යානය ගොඩ බස්වා, එන්ජින් ක්‍රියාත්මකව පවතිද්දීම තුවාලකරුවන් 14 දෙනෙකු කඩිනමින් යානයට නංවාගෙන එම ස්ථානයෙන් ඉවත් විය. ගුවන් ගමන අතරතුරදී ගුවන් යානය තුළ සිටි වෛද්‍ය කණ්ඩායම විසින් තුවාලකරුවන්ට අඛණ්ඩව ප්‍රතිකාර ලබා දෙන ලදී.
ඉන් අනතුරුව, තුවාලකරුවන් නව දෙනෙකු බිරාවෝ ගුවන් තොටුපළේ පිහිටි මට්ටම් 1ක රෝහලට ප්‍රවාහනය කළ අතර, බරපතල තුවාල ලැබූ සෙසු පස් දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා බ්‍රියා හි පිහිටි මට්ටම් 2ක වෛද්‍ය මධ්‍යස්ථානයකට යොමු කරන ලදී. අභියෝගාත්මක කාලගුණික සහ ආරක්ෂක තත්ත්වයන් නොතකා ශ්‍රී ලංකා සාම සාධක භටයන් සිදු කළ මෙම වීරෝදාර මෙහෙයුම ජාත්‍යන්තර පැසසුමට ලක්ව ඇත.














