රජයේ සහ පෞද්ගලික රෝහල් පද්ධතිය තුළ මේ වන විට නිර්මාණය වෙමින් පවතින ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය හේතුවෙන්, රෝගීන්ට එම ද්‍රව්‍ය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමේදී දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, වෙළඳපොළේ පවතින හිඟය ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් ඖෂධවල මිල සාමාන්‍ය අගය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි මිලකට අලෙවි කරන බවයි. මෙයට නිදසුනක් ලෙස ඔහු දක්වා සිටියේ, ඉන්දියානු රුපියල් 150ක් හෙවත් මෙරට මුදලින් රුපියල් 600ක පමණ විය යුතු ‘ලිග්නොකේන්’ (Lignocaine) නිර්වින්දන ආලේපනයක්, මේ වන විට රුපියල් 2000කට ආසන්න මිලකට අලෙවි වන බවයි. මෙවැනි අසාධාරණ මිල ඉහළ දැමීම් සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිසි අධීක්ෂණයක් හෝ වැටලීමක් සිදු නොකිරීම කණගාටුවට කරුණක් බව ද ඔහු සඳහන් කළේය.
පවතින හිඟයත් සමඟ ලියාපදිංචි නොකළ ඖෂධ බෝට්ටු මගින් මෙරටට ගෙන්වීමේ ජාවාරමක් ද ක්‍රියාත්මක වන බව වෛද්‍යවරයා අනාවරණය කළේය. පසුගිය දිනවල රේගුව සහ නාවික හමුදාව සිදුකළ වැටලීම් මගින් මෙය තහවුරු වන බව ඔහු පැවසීය. රජය මෙම තත්ත්වය පාලනය කිරීමට කඩිනමින් මැදිහත් නොවන්නේ නම්, මෙරට රෝගීන්ට ගුණාත්මකභාවයෙන් අඩු බාල ඖෂධ වැඩි මිලට මිලදී ගැනීමට සිදුවන බවත්, එමගින් ඔවුන්ගේ රෝගී තත්ත්වයන් තවදුරටත් උත්සන්න වීමේ දැඩි අවදානමක් පවතින බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














