ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන්, පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව පළමු වරට ජනාධිපති කාර්යාලයේදී රැස් විය. ආහාර සුරක්ෂිතතාව, ජල කළමනාකරණය සහ බලශක්ති සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කමිටුව පත් කර තිබේ.
එල්-නිනෝ සම්බන්ධව දැනට පවතින දත්ත අනුව එහි ප්‍රබල සම්භාවිතාව 63%ක් සහ දුර්වල සම්භාවිතාව 33%ක් බව මෙහිදී අනාවරණය විය. එම තත්ත්වය යටතේ පානීය ජලය, වාරිමාර්ග සහ බලශක්තිය සම්බන්ධව වැඩි අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කෙරිණි. ගෝලීය එල්-නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ඇති විය හැකි නියං හෝ අධික වර්ෂා තත්ත්වයන්ට මුහුණදීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ නිශ්චිත වැඩපිළිවෙළක් සති දෙකක් ඇතුළත සකස් කරන ලෙස අදාළ අමාත්‍යාංශවලට උපදෙස් දෙන ලදී.
එමෙන්ම එල්-නිනෝ තත්ත්වය සම්බන්ධව විවිධ අර්ථ දැක්වීම් වෙනුවට, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පමණක් නිල ප්‍රකාශ නිකුත් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.
අමාත්‍ය මණ්ඩල අනුකමිටුව නියෝජනය කරන පිරිස:
කේ. ඩී. ලාල්කාන්ත, සමන්ත විද්‍යාරත්න, අනුර කරුණාතිලක, වසන්ත සමරසිංහ සහ සුසිල් රණසිංහ යන අමාත්‍යවරුන් මෙම අනුකමිටුව නියෝජනය කරයි.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














