ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ කටුකුරුන්ද ප්‍රදේශයේදී පෙරේදා (01) මධ්‍යම රාත්‍රියේ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
බේරුවල ප්‍රදේශයේ පැවති පොසොන් ආගමික වතාවත්වල නිරත වී ආපසු නිවස බලා යමින් සිටි පවුලක් ගමන් කළ ත්‍රිරෝද රථයක්, කොළඹ සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් මියගොස් ඇත්තේ 62 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 12 හැවිරිදි මුණුපුරාය. බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු වන සීයා සහ තවත් කාන්තාවක් කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, කටුකුරුන්ද බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කළ බස් රථයේ ඉදිරිපස ත්‍රිරෝද රථය ගැටී ඇති බවයි. ත්‍රිරෝද රථ රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය විරුද්ධ දෙසින් පැමිණි බස් රථයේ ගැටෙන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. මෙම අනතුර බස් රථයේ තිබූ සීසීටීවී (CCTV) කැමරාවක ද සටහන්ව තිබිණි.
මේ අතර, එම අනතුර සිදුවූ වහාම බස් රථයේ ගමන් ගත් මගියෙකු විසින් බස් රියදුරුට අයත් බෑගයක් සොරාගෙන පලා යන අයුරුද එම කැමරා දර්ශනවල සටහන්ව ඇත. එම බෑගය තුළ බස් රථයේ ලියාපදිංචි සහතික සහ රියදුරු බලපත්‍රය තිබී ඇත. පායාගල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.














