පාසල් සහ උපකාරක පන්තිවලට සහභාගී වන පාසල් සිසුන්ට සිගරට් අලෙවි කළ කිලිනොච්චිය නගරයේ වෙළඳසැල් හිමියන් 13 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.
කිලිනොච්චිය පොලිස් කොට්ඨාසයේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ විශේෂ වැටලීමකදී මෙම වෙළෙන්දන් හඳුනාගෙන ඇත. ඒ අනුව ඔවුන්ට එරෙහිව කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.
අධිකරණයේදී සැකකරුවන් 11 දෙනෙකු වරද පිළිගත් අතර, ඔවුන් එක් අයෙකුට රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කළේය. අධිකරණයේ පෙනී නොසිටි අනෙක් වෙළෙන්දන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇත.
කිලිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














