වාහන ආනයනය සඳහා අවස්ථාව ලබා දීමට රජය ගෙන ඇති තීරණය අගය කරන අතරම, එම වාහන මිලදී ගැනීම සඳහා මහජනතාවට ඇති ඉඩකඩ කප්පාදු නොකරන ලෙස ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඉල්ලා සිටී.
අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගු මහතා මේ බව සඳහන් කළේය. මහජනතාව තුළ වාහන මිලදී ගැනීමට දැඩි උනන්දුවක් පැවතියද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් (ලීසිං) ප්‍රතිශතය 40%ක් දක්වා අඩු කිරීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය හේතුවෙන් සාමාන්‍ය ජනතාවට වාහනයක් මිලදී ගැනීම දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
රජයට ඉහළම බදු ආදායමක් උපයා දෙන වාහන ආනයන ක්ෂේත්‍රය පවත්වාගෙන යාම සඳහා රජයේ සහයෝගය අත්‍යවශ්‍ය බවත්, එමනිසා මෙම මූල්‍ය සීමා කිරීම් සම්බන්ධයෙන් නැවත සලකා බලා ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට පහසුකම් සලසා දෙන ලෙසත් ඔහු රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.














