මේ වන විට පෞද්ගලික අංශයේ රෝහල් රැසක විශේෂඥ වෛද්‍ය ගාස්තු රුපියල් හයදහස සීමාවද ඉක්මවා ඇති බවත්, මේ නිසා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන සාමාන්‍ය මහජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
වෘත්තීයවේදීන් මත පනවා ඇති බදු බර, අධික සෘජු හා වක්‍ර බදු, පෞද්ගලික අංශයේ රෝහල් සේවාවලින් අය කරන බදු, ඉහළ ගිය විදුලි බිල සහ ඉන්ධන මිල ඇතුළු පාරිභෝගික භාණ්ඩ හා සේවාවල අගයන් ඉහළ යාම මෙම ගාස්තු වැඩිවීමට ප්‍රධාන හේතුව වී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි. රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට නොහැකිව පෞද්ගලික රෝහල් වෙත පැමිණෙන ග්‍රාමීය හා අර්ධ නාගරික ජනතාව මෙම තත්ත්වය හමුවේ දැඩි පීඩාවට පත්ව ඇත.
මීට අමතරව පෞද්ගලික අංශයේ නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ගාස්තු, ඖෂධ සහ ශල්‍ය උපකරණ ගාස්තුද දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන වෛද්‍ය චමල් සංජීව මහතා, පෞද්ගලික අංශයේ වෛද්‍ය සේවා නියාමනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් වුවද, මේ වන විට එම නියාමන ක්‍රියාවලිය අමාත්‍යාංශයෙන් ගිලිහී ගොස් ඇති බව වැඩිදුරටත් අවධාරණය කළේය.
















