රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ඊයේ (ජූලි 01) පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී රුපියල් බිලියන 100ක වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීමට පියවර ගෙන තිබේ.
මෙම වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 100,000ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ සඳහා රුපියල් මිලියන 166,391ක ලංසු ලැබී තිබුණි. ඒ අනුව, ඉල්ලුමට සරිලන පරිදි රුපියල් මිලියන 100,000ක ලංසු ප්‍රමාණයක් පිළිගැනීමට බලධාරීන් කටයුතු කළහ.
මෙම වෙන්දේසියේදී භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතිකවල සුළු ඉහළ යාමක් වාර්තා වී ඇත. එහිදී පැවති පොලී අනුපාතිකවල වෙනස්කම් පහත පරිදි වේ:
දින 91ක භාණ්ඩාගාර බිල්පත්වල ඵලදා අනුපාතිකය 10.14% සිට 10.23% දක්වා පදනම් අංක 9කින් ඉහළ ගොස් ඇත.
දින 182ක භාණ්ඩාගාර බිල්පත්වල ඵලදා අනුපාතිකය 10.21% සිට 10.30% දක්වා පදනම් අංක 9කින් ඉහළ ගොස් ඇත.
දින 364ක භාණ්ඩාගාර බිල්පත්වල ඵලදා අනුපාතිකය 10.17% සිට 10.20% දක්වා පදනම් අංක 3කින් ඉහළ ගොස් ඇත.















