කාන්තා ව්‍යවසායිකාවන් සඳහාම වෙන්වූ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම විලාසිතා සතිය වන 2026 CCWE විලාසිතා සතිය සහ ජාත්‍යන්තර සමුළුව (CCWE Fashion Week & International Summit 2026) සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස හැටන් නැෂනල් බැංකුව (HNB) එක් වී තිබේ. ‘’Threads of Inclusion Woven from Every Walk of Life” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සුවිශේෂී වැඩසටහන 2026 ජූලි 16 සිට 20 දක්වා කොළඹ Cinnamon Life හිදී පැවැත්වීමට නියමිතය.
මෙම සහයෝගීතාවය කාන්තා ව්‍යවසායිකාවන්ගේ ව්‍යාපාරික ගමන්මග ශක්තිමත් කිරීමෙහිලා වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත. HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පවසන පරිදි, කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම මගින් ඔවුන්ගේ පවුල්වලට, සමාජයට සහ සමස්ත ආර්ථිකයටම යහපත් ප්‍රතිලාභ ලැබෙන අතර, මූල්‍ය පහසුකම් සහ ව්‍යාපාරික සංවර්ධනය ඔස්සේ ඔවුන්ගේ දිගුකාලීන වර්ධනයට මඟපෑදීමට බැංකුව කැපවී සිටී.
CCWE විලාසිතා සතිය හුදෙක් විලාසිතා දැක්මකට පමණක් සීමා නොවී, ශ්‍රී ලංකාවේ විලාසිතා ක්ෂේත්‍රය වඩාත් සාධාරණ, සදාචාරාත්මක සහ ජාත්‍යන්තර මට්ටමෙන් තරඟකාරී ක්ෂේත්‍රයක් බවට පත්කිරීම වෙනුවෙන් නිර්මාණය වූ ජාතික මට්ටමේ වැඩසටහනකි. විලාසිතා දැක්මවල්, ජාත්‍යන්තර සමුළු, පුහුණු වැඩසටහන් සහ වෙළෙඳ ප්‍රදර්ශන ඇතුළත් මෙම වැඩසටහන මගින් කාන්තා ව්‍යවසායිකාවන්, තරුණ නිර්මාණකරුවන් සහ අන්තර්ජාල අන්තර්ගත නිර්මාණකරුවන් වෙත සෘජු ආර්ථික ප්‍රතිලාභ හිමි වේ.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ CCWE සහ විලාසිතා සතියේ සභාපතිනී ආචාර්ය අයන්ති ගුරුසිංහ මහත්මිය සඳහන් කළේ, මෙය සමාජයේ සෑම තරාතිරමකම සිටින කාන්තාවන්ට තම සහජ දක්ෂතා සාර්ථක ව්‍යාපාර බවට පත්කර ගැනීමටත්, නව වෙළෙඳපොළ අවස්ථා සොයා ගැනීමටත් මඟ පාදන ජාතික මට්ටමේ පරිවර්තනයක් බවයි.
HNB බැංකුව සිය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය, කාන්තා ව්‍යවසායකත්වය, ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රවේශය සහ ESG නායකත්වය යන ප්‍රමුඛ උපායමාර්ගයන්ට අනුකූලව මෙම අනුග්‍රාහකත්වය ලබා දීම සිදු කරයි. කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම ව්‍යාපාරික සීමාවන්ගෙන් ඔබ්බට ගිය ජාතික ආයෝජනයක් බව HNB නැවතත් අවධාරණය කර සිටී.















