2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති ඉලක්ක කරගනිමින් හඳුන්වා දුන් ‘ඔඩපන’ ණය යෝජනා ක්‍රමය ඊයේ (ජූලි 01) සිට ක්‍රියාත්මක වේ. ගොවි ජනතාවට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ දියත් කර ඇත.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සලකා බැලෙන විශේෂ කරුණු පහත පරිදි වේ.
මෙම ව්‍යාපෘතියේ ඉලක්ක ගත කණ්ඩායම වන්නේ දෛනික වී කෙටිමේ ධාරිතාව මෙට්‍රික් ටොන් 25කට යටත් වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වේ. ණය ලබා ගැනීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් සතුව රාජ්‍ය ආයතනයකින් ලබාගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් සහ වී අලෙවි මණ්ඩලය නිකුත් කළ බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.
ණය කොන්දේසි ලෙස 8%ක වාර්ෂික පොලී අනුපාතයකට රුපියල් මිලියන 75ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර, එම මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන සහතික මිල යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීම මෙහි මූලික අරමුණයි.
ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව, සණස සංවර්ධන බැංකුව, අමානා බැංකුව, කාගීල්ස් බැංකුව, යූනියන් බැංකුව, පෑන් ඒෂියා බැංකුව සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව යන ආයතන මෙම ණය යෝජනා ක්‍රමය සඳහා සහභාගී වන මූල්‍ය ආයතන ලෙස නම් කර ඇත.
















