හෝමාගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ETU) රෝගීන් ලියාපදිංචි කිරීම සහ ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීමත්, දුරස්ථ වීඩියෝ තාක්ෂණය (Telemedicine) ඔස්සේ රෝගීන් පරීක්ෂා කිරීමේ නවීන ක්‍රමවේදයත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි.
මෙම නව තාක්ෂණික හඳුන්වා දීමත් සමඟ රෝහල් කළමනාකරණයට සහ පරිපාලනයට සෘජු ප්‍රතිලාභ රැසක් හිමි වේ. ඒ අනුව රෝහල් පිරිවැය සහ වියදම් අවම වීම, සේවක කාර්යක්ෂමතාව ඉහළ යාම, රෝහල් ධාරිතාව හා ඉඩකඩ උපරිමයෙන් භාවිත කිරීමට හැකි වීම, දත්ත පදනම් කරගත් නිවැරදි තීරණ ගැනීමට හැකි වීම සහ රෝගී දත්ත හුවමාරුව පහසු වීම යන කරුණු ප්‍රධාන වේ.
එම අවස්ථාවේදී දුරස්ථ වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමවේදය ඔස්සේ පාදුක්ක රෝහලේ සිටි රෝගියෙකු ඇමැතිවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර, ඩිජිටල්කරණය වූ හදිසි ප්‍රතිකාර ඒකකයේ පළමු රෝගියා ලියාපදිංචි කිරීම ද ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙහිදී රෝහල් කාර්ය මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවේදී, රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සහ ප්‍රධාන අවශ්‍යතාවක් වන මහල් හතරකින් යුත් බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිළිබඳව ද ඇමැතිවරයාගේ විශේෂ අවධානය යොමු විය. හෝමාගම රෝහල සංවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය සතුව සැලසුම් සහගත වැඩපිළිවෙළක් පවතින බවත්, රෝහලේ මානව සහ භෞතික සම්පත් කළමනාකරණයට ප්‍රමුඛතාව ලබා දෙන බවත් ඒ මහතා පැවසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර පනාගොඩ සහ සුසන්ත දොඩාවත්ත යන මහත්වරුන් ඇතුළු දේශපාලන අධිකාරිය ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රෝහලේ ඉහළ නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ.
















